Thursday, October 6, 2011

උසස් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍ය සංගමයක් සතු කාර්යභාරය.... මම දකින හැටි....



මූලිකවම ශිෂ්‍ය සංගමයක් පත් විය යුත්තේ ශිෂ්‍යයන්ගේ ඡන්දයෙන්. එහෙම නැතුව නිකන් අත උස්සලා හරි, ආචාර්ය මහාචාර්ය වරුන්ට හරි ඕනා විදියට පත් වෙන කණ්ඩායමකට ශිෂ්‍ය සංගමයක් කියන්න අමාරුයි.


ශිෂ්‍ය සංගමයක් හෝ ඕනෑම සංගමයක් හෝ සංවිධානයක් සතු ප්‍රධාන අංගය තමයි ව්‍යවස්ථාවක් තියන එක. ඒ ව්‍යවස්ථාව අනුව බලයට පත් වෙන ශිෂ්‍ය සංගම් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඒ කියන්නෙ ඒ ශිෂ්‍ය සංගම් වල ඉන්න නිලධාරීන්ට ඕන ඕන විදියට වැඩ කරන්න කරන්න නොහැකි වීම සහ ව්‍යවස්ථාවෙන් ඉටු කිරීමට අපේක්ෂිත අරමුණු ඉටු කිරීමට බැඳිලා සිටීම.


ඊළගට, ශිෂ්‍ය සංගමයකට තියෙන්න ඕන තමන්ගේ ධූර කාලය තුල ඉටු කරන්නට පෙල ගස්වලා තියන ඉලක්ක. මේ ඉලක්ක එක්කෝ ව්‍යවස්ථාවෙන් අපේක්ෂිත අරමුණු, එහෙම නැත්නම් ශිෂ්‍යයන් ගේ සුභ සාධනය හෝ අයිතිවාසිකම් අරමුණු කරගෙන සකස් කරගත් ඉලක්ක.


තවත් වැදගත් කාරණයක් තමයි ආණ්ඩු පක්ෂයට, විපක්ෂයට හෝ වෙනත් විකල්ප දේශපාලන පක්ෂයකට කඩේ යන ශිෂ්‍ය සංගමයක් නොවීම. එහෙම උනොත් එතන ශිෂ්‍ය සුභසාධනයක් වෙන්නෙ නෑ, ළමයින්ගෙ අයිතිවාසිකම් රැකෙන්නෙත් නෑ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙත් නෑ.


බොහොම සරලව කිව්වොත් ආණ්ඩු පක්ෂයට කඩේ යන ශිෂ්‍ය සංගමයක්, ආණ්ඩුව ළමයින්ට මොන අසාධාරණය කලත් පාඩුවේ ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙ අරමුණ තමයි ඊළඟ ඡන්දෙදි තමන්ට අපේක්ෂකත්වය ලබා ගැනීම.


අනිත් අතට විපක්ෂයට හරි විකල්ප දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය සංගමයක් තමන්ගෙ පක්ෂයේ ඉලක්කය වන ඊළඟ වාරයේ රාජ්‍ය බලයට පැමිණීමේ සිහිනය වෙනුවෙන් දරදිය අදිනවා, ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ට සිද්ධ වෙන්න පවතින ආණ්ඩුව මගින් කරන දරුණු මර්දනයට මුහුණ දෙන්න,


ඒකෙ අවසාන ප්‍රතිඵලය වෙන්නෙ තමන්ගේ වාසියට කියල හරි ළමයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් කෑ ගහපු ශිෂ්‍ය සංගමය විසිරුවා හැරලා පවතින ආණිඩුවට පක්ෂපාත ශිෂ්‍ය සංගමයක් පිහිටවන එක. කොහොම උනත් අන්තිමේදි මේකෙන් පීඩා විඳින්නෙ අහිංසක ළමයි........ 


මෙන්න මෙහෙමයි ලංකාවෙ ශිෂ්‍ය සංගම් ගැන විකිපීඩියාවෙ තියෙන්නෙ
http://en.wikipedia.org/wiki/Students%27_union#Sri_Lanka


මතුසම්බන්ධයි... 

Saturday, October 1, 2011

දොස්තරලා දෙවිවරු වෙන්නෙයි නීතීඥයෝ කාක්කෝ වෙන්නෙයි කොහොමද?

දොස්තරලා සුදු කෝට් අඳින නිසා එයාල හොඳයි,





නීතීඥයෝ කලු කෝට් අඳින නිසා එයාල නරකයි


... එහෙමද?

පොඩ්ඩක් හිතුවෙ නැද්ද මේ දෙගොල්ලොම මිනිස්සුන්ගෙ ජීවිතේ සම්බන්ධව තීරණ අරගෙන කරන වෘත්තියක් නේද කරන්නෙ කියල.මාරාන්තික ලෙඩක් හැදිලා ඉන්න කෙනෙකුයි, නිරපරාදේ මිනීමැරුම් චෝදනාවකට අහුවෙලා ඉන්න මිනිහෙකුයි අතර තියන සමාන කම, හරි වෙලාවට බෙහෙත් හේත් කරල සාත්තු සප්පායම් කලොත් අර ලෙඩේ හැදිල ඉන්න මනුස්සයා මරණෙන් ගැලවෙන්න පුලුවන්, ඒවගේම තමයි නියමිත සිද්ධිමය කරුණුයි නීතිමය කරුණුයි උසාවියට දක්වලා අර පෝරකේට නියම වෙන්න හිටපු මනුස්සයව ඒකෙන් බේරාගන්නත් පුලුවන්, එහෙම නේද? හැබැයි අර ලෙඩේ සනීප කරගත්තු මනුස්සයා දොස්තර මහත්තයට බුදුවබ අත් වෙන්න ඕන කිය කිය වැඳල යනකොට අර පෝරකෙන් ගැලවුනු මනුස්සයා කියන්නෙ" මාව නිදහස් කර ගත්තා තමයි, ඒ වුනට මාව හූරගෙන කෑව, හරියන්නෙ නෑ ඕකට ඔය ගත්තු සල්ලි වලින් කියල" නේද? ඇයි මේ විදිහට මිනිස්සුන්ගෙ ආකල්ප හැඩගැහිල තියෙන්නෙ.මේ දෙගොල්ලොම ඉගෙන ගන්නෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින්, ඒක ඇත්ත ඒත් එතනින් එලියට බැහැලා ආවම තත්වය වෙනස් වෙනව, මොකක් නැතත් තවමත් දොස්තරලට ආණ්ඩුවෙ රස්සාව ලැබෙනවා, ඒ අතරම ප්‍රයිවට් ප්‍රැක්ට්ස් එකත් හදා ගත්ත නම් එයාල ගොඩ, හැබැයි නීතීඥයන්ගෙ තත්වෙ ඔයිට වඩා වෙනස්. දිවුරුම් දීල එලියට බැස්සම apprenticing කරපු තැනම හරි ඒ සර් ම හරි ජූනියර් කෙනෙක් විදියට වැඩට ගත්තොත් හරි. ඒත් හැමෝටම එහෙම වෙන්නෙ නෑ.අනිත් එක එහෙම වැඩට ගත්තත් මහ ලොකු ගානක් හම්බ වෙන්නෙත් නෑ.කොළඹ ටිකක් හරි හොඳයි, පිට පලාත් වල කතා කරල වැඩක් නෑ.එලියට බැහැපු හමන් සදා අනාතයි ඉතිං. අන්තිමේ කෝට් එක විතරයි, ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බෑ, ජීවත් වෙන්නත් ඕනේ, ඉඳලා ඉඳලා නඩුවක් ආවත් මහ ගානක් ගන්නත් බෑ ඔය වගේ ප්‍රශ්න තමයි. මිනිස්සු හිතන්නෙ කෝට් එක ඇඳගෙන එලියට ආවම සල්ලි තමයි කියලා, ඒත් එහෙම නෑ, පුදුම කට්ටක් කන්න ඕන, හරක් වගේ බර අදින්න ඕන, බල්ලො වගේ බැනුම් අහන්න ඕනා, හිඟන්නො වගේ ජීවත් වෙලා, බොරු ෂෝක් ලෝකෙට පෙන්නන්නත් ඕන..... ඕක තමය් තිත්ත ඇත්ත....

මතු සම්බන්ධයි.....

Friday, September 30, 2011

අලුත්කඩේ සහ පරණ මම

මම කවදාවත් අලුත්කඩේට ඇවිත් ගිනි අව්වේ,කලු කෝට් එකක් ඇඳගෙන රස්සාවක් කරන්න හිතාගෙන හිටපු එකෙක් නෙවෙයි.ඒත් අපි ආසා දේවල් අපිට කරන්න  නොලැබීමේ සිද්ධාන්තය අනුව මටත් එන්න උනා මෙතනට. මෙතනට එන්න කලින් ඉඳලම බොහොම ලස්සන සුරංගනා ලෝකයක් මවලා තියෙන්නෙ. ඕන තරම් සල්ලි, සැප, යාන වාහන..... ඒත් අවුරුදු හතර ගෙවිලා කෝට් එකත් දාගෙන එලියට බැස්සම තමයි තේරෙන්නේ මෙච්චර කල් තමන් අහු වෙලා හිටියෙ බොහොම දරුණු මාකටින් පාරකට කියලා, ඒත් එතකොට පරක්කු වැඩියි.තමන් මවාගෙන හිටපු සුරංගනා ලෝකෙ හොයාගෙන දුවන එක තමයි ඊලඟ රාජකාරිය. එහෙම දුවන ගමනෙදි යාලුවො, නෑදෑයො, මිනිසුන්ගෙ දුක, කඳුල මේ ඔක්කොටම ලැබෙන්නෙ මුදල්මය වටිනාකම්.වැඩි දෙනා කුහකකම ඉරිසියාව පිරිලා ඉතිරිලා ගිය නරුමයෝ වෙලා, ඒ අතර අතලොස්සක් වන සුන්දර මිනිස්සු හැංගිලා ගිහිල්ලා. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. මට බෑ නරුමයෙක් වෙන්න...... ඒත් එහෙම කියල උඩු ගං බලා පීනන්නද. මට තේරෙන්නෙ නෑ.......

Thursday, September 29, 2011

අලුත්කඩේ....

අලුත්කඩේ කිව්වම අපිට එක පාරටම මතක් වෙන්නෙ මොකක්ද.....නඩු ,උසාවිය....මේ අලුත්කඩේ පොඩ්ඩක්වත් ලස්සන සුන්දර තැනක් නෙවෙයි. මේ පාර දිගේ, ගොඩනැගිලිවල රැව් පිලි රැව් දෙන්නේ මිනිස්සුන්ගෙ වේදනාව, දුක, ඒ වේදනාවට මිලක් නියම කරලා හිනාවෙන කලු කෝට් කාරයන්ගෙ හඬ.මිනිස්සුන්ගෙ ආදරය,සතුට,දුක,වේදනාව,සිනහව,කඳුල මේ ඔක්කොම දකින්න... එන්න අපිත් එක්ක ඇවිදින්න මේ අලුත්කඩේ වීදියේ......